News

ද්විත්ව පුරවැසිභාවය නොමැති බවට මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් සහතික ගන්න - පැෆ්රල්

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසිභාවය සහිත පුරවැසියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි බව නීතියෙන් සම්මත විය.

""19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසිභාවය සහිත පුරවැසියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි බව නීතියෙන් සම්මත විය. ඒ අනුව ද්විත්ව පුරවැසි භාවය සනාථ වූ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවූ බවත් පැෆ්රල් සංවිධානය පවසයි.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව කතනායක කරූ ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් වැඩිදුරටත් එහි සඳහන්කොට ඇත්තේ ගීතා කුමාරසිංහ මහත්මියගේ සිද්ධියට අදාලව ලබාදුන් අධිකරණ තීන්දුව  ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්නක් බවයි.
 
රටේ පාර්ලිමේන්තුව යනු පුරවැසියන් වෙනුවෙන් නීති, ප්‍රතිපත්ති  සම්පාදනය කරන හා අප වෙනුවෙන් මූල්‍ය පාලනය කරන ආයතනය බවත් එවැනි  තැනක විදේශ පුරවැසිභාවය සහිත පිරිස් සිටී නම්,  ඔවුන් ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරයි ද? යන්න සැක සහිත බවත් හෙට්ටිආරච්චි මහතා සිය ලිපිය මගින් පෙන්වාදී ඇත.
 
තවද  පසුගිය කාලසීමාව තුළ පාර්ලිමේන්තුවේ මෙන්ම සාමාන්‍ය පුරවැසියන් අතර ද ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් පිළිබදව සංවාදයක් නිර්මාණය වූ බවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් තම ද්විත්ව පුරවැසිභාවය හෙළි නොකරන්නේ නම් එය ජනතාව රැවටීමක් බවත් පෙන්වාදී ඇති හෙට්ටිආරච්චි මහතා තවදුරටත් සඳහන්කොට ඇත්තේ සමාජ සැකය දුරු කිරීම සදහාත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සදහාත්, සෑම මන්ත්‍රීවරයෙකු/ වරියකගෙන්ම වෙනත් රටක පුරවැසිභාවයක් නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි.
 
 
සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
 
_____________________________________________________________________________________
 
 
 
2017.11.08
 
ගරු කථානායක තුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.
 
ගරු කථානායක තුමනි,
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් / මන්ත්‍රීවරියන්  ද්විත්ව පුරවැසි භාවය සහිත අය නොවන බවට තහවුරු කර ගැනීම
 
19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසිභාවය සහිත පුරවැසියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි බව නීතියෙන් සම්මත විය. ඒ අනුව ද්විත්ව පුරවැසි භාවය සනාථ වූ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි විය.
 
අප රටේ පාර්ලිමේන්තුව යනු පුරවැසියන් වෙනුවෙන් නීති, ප්‍රතිපත්ති  සම්පාදනය කරන හා අප වෙනුවෙන් මූල්‍ය පාලනය කරන ආයතනයයි. එවැනි  තැනක විදේශ පුරවැසිභාවය සහිත පිරිස් සිටී නම්,  ඔවුන් ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරයි ද? යන්න සැක සහිතය. එමෙන්ම ඔවුන් දෙරට අතර තීරණාත්මක කරුණකදී  ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් පෙනී සිටීද?   නො එසේ නම් තමා පුරවැසි භාවය ලබාගත් රට වෙනුවෙන් පෙනී සිටීද? යන්න බරපතල ප්‍රශ්නාර්ථයකි. මක් නිසාද ඔවුන් වෙනත් රටක පුරවැසිභාවය ලබා ගෙන ඇත්තේ ලංකාව පිළිබද අඩු තක්සේරුවක් නිසාවෙන් හෝ තම පෞද්ගලික අභිමථාර්ථයන් මුදුන්පත් කර ගැනීමේ අභිලාශයෙනි. එමෙන්ම මෙවැනි පුද්ගලයන් ඕනෑම මොහොතක රට හැර යාමේ සම්භාවිතාවක් ද පවතී. එබැවින් මෙම අධිකරණ තීන්දුව  ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්නකි. 
 
පසුගිය කාලසීමාව තුළ පාර්ලිමේන්තුවේ මෙන්ම සාමාන්‍ය පුරවැසියන් අතර ද ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් පිළිබදව සංවාදයක් නිර්මාණය වූ අතර එහි උච්චතම අවස්ථාව වූයේ එවැනි මන්ත්‍රීවරුන් පිළිබද විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වීමයි. මෙවැනි මතවාද සමාජගතවීම හරහා සමාජයට සිදුවන අයහපත් බලපෑම තේරුම්ගත් අප වගකිව යුතු නිරීක්ෂණ සංවිධානයක් ලෙස සැබෑ තත්ත්වය අනාවරණය කරගත යුතු යැයි තීන්දු කරන ලදි. 
 
එහි ප්‍රතිඵලයක් ලෙස ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් පිළිබද  අප ආගමන විගමන පාලකවරයාගෙන් විමසා සිටි අතර ගීතා කුමාරසිංහ මහත්මිය හැර වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකුට ද්විත්ව පුරවැසි සහතිකයක් නිකුත් කර නොමැති බව දන්වා ඇත.
 
එහෙත් එම පැහැදිලි කිරීම තුළ  ද්විත්ව පුරවැසිභාවය හෙළිදරව් නොකළ පිරිස් පිළිබද නිශ්චිත හා නිරවුල් අදහසක් ගම්‍ය නොවේ.
 
වර්තමානය වන විට මේ පිළිබදව විශාල වශයෙන් සමාජ කතිකාවතක්  හා සැකයක් සමාජය තුළ ජනිත වී ඇත. යම් ආකාරයකට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් තම ද්විත්ව පුරවැසිභාවය හෙළි නොකරන්නේ නම් එය ජනතාව රැවටීමකි. නීති සම්පාදකයන් ලෙස සිටිමින් නීතිය නොසලකා හැරීමකි. 
 
එබැවින් මෙම සමාජ සැකය දුරු කිරීම සදහාත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සදහාත්, සෑම මන්ත්‍රීවරයෙකු/ වරියකගෙන්ම වෙනත් රටක පුරවැසිභාවයක් නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු. 
 
ජනතාවගේ ගෞරවය රැකෙනුයේ පාර්ලිමේන්තුවේ ගෞරවයත්, මහජන නියෝජිතයන්ගේ ගෞරවයත් රැකුණහොත් පමණි. එබැවින් ඔබ තුමා මේ පිළිබද විශේෂ අවධානය යොමු කරනු ඇතැයි අපි දැඩිසේ විශ්වාස කරමු. 
 
ස්තුතියි.
මෙයට විශ්වාසී,
 
රෝහණ හෙට්ටිආරච්චි,
විධායක අධ්‍යක්ෂ.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com